Friday, 30 June 2023

නැළැවිල්ල - කුමාරතුංග මුනිදාස

 නැළැවිල්ල



"කවිය අන් සෑම සාහිත්‍යමය නිර්මාණයක් ලෙස ම සමාජයීය කෘතියක් විය යුතුය. තමාගේ විනෝදය සහ ප්‍රයෝජනය උදෙසා කවියා කවි නොලියයි. කවියාගේ පරමාර්ථය තමාගේ විනෝදය සහ තමා ලබන ප්‍රයෝජනය ද සමාජයේ අනික් අයට ද බෙදා දීමයි. එසේ නම් කවියා පොදු ජනයාගෙන් ඈත් නොවී ඔවුන්ගේ සිතුම් පැතුම් ආරක්ෂා කරමින් මහජනයාගේ බසින්ම කවි ලිවිය යුතුය." 

                                                                                                    -මීමන ප්‍රේමතිලක-

 

  කොළඹ යුගයේ හෙළ හවුල කවි පරපුර නියෝජනය කරන හෙළ හවුල කවි සම්ප්‍රදායේ නිර්මාතෘවරයා වන කුමාරතුංග මුනිදාසයන් රුහුණේ පතළ වෙදදුරාණ කෙනෙකුන් වූ දොන් අබියෙස් කුමාරතුංගයන්ට දාව පලවින්නගේ දෝනා ගිමාරා මුතුකුමාරණ මාතාවගේ කුසින් 1887 ජූලි 25දා දික්වැල්ලේ ඉදිගස්ආරයේදී මුනිදාස කුමාරතුංග උපත ලැබූහ. කුමාරතුංගයන් කාව්‍ය කෘති වශයෙන් පියසමර, කුමර ගී කාව්‍ය කෘති පළකළ අතර  වර්තමාන සිංහල කවි මග සඳහා වඩාත්ම බලපෑ කවියා කුමාරතුංගයන් බව විචාරක මතයයි.

නැළැවිල්ල

තොටිල්ල සැම සුවපිරී

 පැද්දෙයි තාලෙට සරී 

 අසමින් ගී සුමිහිරී

 නිදන්න පුත රන් කිරී


දොයි දොයි දොයි

 බයි බයි බයි

 නිදි මව එයි 

වැළඳ ගනියි 


උණු වැඩි ය යි හිරුගේ රැස්

තෙමා නැවත ගෙනෙන ලෙස්

 ගියේ ය වැද මුහුදු කුස්

 පෙනේ ද ආදර වෙසෙස්


සිහිල් වෙති යි සඳ ඉතා 

සාවා එහි පැන-ගතා

රැසින් අඩක් නො නවතා

සිටීද ඒ හොඳ සතා


සුරතල් දරු බිය වෙතී

 කුරුලු පැටවු නො හඩතී

 නැළවිල්ලෙන් කම් නැතී

 කිරිල්ලෝ ද සැතපෙතී


වසු පැටියෝ ගෙල පසා

 මිණි වැල් සෙලැවෙන නිසා

 රිසි ලෙස ඇඟ නො ම කසා

 හිඳිති තණට ඇස වසා


හූනෝ එළියට අවුත්

මැස්සන් පස්සෙන් ගතොත්

නගති යි උන් හඬ මහත්

කටම කටෙහි ලා- ගනිත්

කුමාරතුංග මුනිදාස - කුමර ගී - 1926

ඉහත නැළැවිල්ල පැදි පෙළෙහි තේමාව වන්නේ බිලිඳු වියේ පසුවන දරුවකු නැලවීමයි. බිළිඳකු යනු හයක් හතරක් නොදන්නා පොඩි තිගැස්මකට පවා බිය වන තම මව එකම සමීපතයා ලෙස සිතන ඉතා සියුමැලි  සෙනෙහස ආදරය අපේක්ෂා කරන්නෙකු ය.  නින්ද ඔවුන්ට අත්‍යවශ්‍යම සාධකයක් වේ. ඒ සඳහා තොටිල්ල ඔවුන්ට සුව යහනකි. තොටිල්ලේ නිදාගෙන ඒ තොටිල්ල පැද්දෙන විට තමන්ට දැනෙන සුවය වෙන නැති තරම්ය. මේ තොටිල්ලත් එක්කම  මවගේ මුවින් ගැයෙන නැළැවිලි ගී ද බද්ධවෙමින් බිලිදාට සුවපහසු නින්දක් ගෙන දෙයි. මේ ආකාරයට බිලින්දා තොටිල්ල තුල නිදා ගන්නා ආකාරය හරි අපූරුවට කුමාරතුංගයන් වසන්ත විරිත යොදා ගනිමින් අපි සියලු දෙනා විඳි අත්දැකීම කවියට නගා ඇත. 

තොටිල්ලෙ සැම සුව පිරී

 පැද්දෙයි තාලෙට සරී

 අසමින් ගී සුමිහිරී

 නිදන්න පුත රන් කිරී

    අතීත සිංහල ජනකවියා නැළවිලි ගී සම්පාදනයේ දී කළ ව්‍යවහාර අනුව යමින් දොයි දොයි බයි බයි ආදී වශයෙන් දරුවන් නළවයි. මේ සරල යෙදුම් තුලින් මවක් ඉතා සෙනෙහෙබර ව දරුවා තුරුල්ලට ගෙන නලවන අයුරු මැවී පෙනේ. මේ යෙදුම් තුළින් මවගේ සෙනෙහස ධ්වනිත  කෙරේ. 

දොයි දොයි දොයි

 බයි බයි බයි

 නිදි මව එයි

 වැළැඳ ගනියි

මේ ආකාරයට හෙළ හෙළහවුලේ කවියා ශබ්ද රසයට වඩා තම නිර්මාණ සඳහා ඇවැසි ඉස්මතු කිරීමට උත්සුක වී ඇත. ඒ නිසාම හෙළ හවුළේ කවියන් වියරණ පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇත මේ පැදි පෙළ ද වියරණ අනුකූලව රචනා කිරීමට කවියා උත්සාහ දරා ඇත. ඒ කාව්‍ය රසයට හානියක් නොවන සේ සිදුකර ඇත. පහත කවිය විමසන විට බහුවචන උක්තයන්ට බහුවචන ආඛ්යාතය යොදා ඇති අයුරු දැකගත හැකි ය. ඉන් අපූර්ව අනුප්‍රාස‍යක්ද උපදින නිසා වියරණය කවියට හානි නොකර නිරුත්සාහකව භාවිත වී ඇති ආකාරයක් දැකගත හැකිය.

සුරතල් දරු බිය වෙතී
කුරුලු පැටවු නො හඩතී
නැළවිල්ලෙන් කම් නැතී
කිරිල්ලෝ ද සැතපෙතී

එසේම කවියා වාග් චිත්‍ර මැවීම අතින්ද  රස උද්දීපනයට උත්සාහ දරා ඇත. කවියක අර්ථ රසය මෙන්ම ශබ්ද රසය වාග් චිත්‍ර හා බැඳී ඇත. වාග් ච්ත්‍රය පාඨක අද්දැකීම් පුනරාවලෝකනය කරයි. එනිසාම කවියාගේ අත්දැකීම පාඨක අත්දැකීමක් බවට  පත්වේ. එබඳු අවස්ථා රැසක් මෙහි අන්තර්ගතය.

වසු පැටියෝ ගෙල පසා
 මිණිවැල් සෙලැවෙන නිසා
 රිසි ලෙස ඇඟ නොම කසා
 හිඳිති තණට ඇස වසා

    වසු පැටවුන් තණ බිස්ස මතට හිස නවා සිටින ආකාරය කවියාගේ අත්දැකීම් මගින් පැදි පෙළට එක් කොට ඇත. වසු පැටවුන්ගේ ගෙලෙහි මිණි වැල් බැඳ ඇත. එය ගැමි පරිසරවල සුලබ දෙයකි. වසු පැටවා සුරතල් ය. එනිසා ඔහුට ඇති ලැදියාව කියා පෑමට ගෙජ්ජි වැල් ගෙලෙහි බදී. කුඩා බිලිඳා  නිදි සුව විඳින බව දන්නා වසු පැටවුන් තණපත් නොකා සිටී. තණපත් කනවිට ගෙල පහත්  වනු ඇති යන බිය පැටවුන් තුළ වෙයි. පැටවාට ඇඟ කසා ගැනීමට අවැසි වුවහොත් එසේ නොකරයි. මෙය චිත්‍රයක් ලෙස පාඨක සිතෙහි සුපැහැදිලි ලෙස ඇදෙයි.
 
  කුරුලු පැටවු, වසු පැටියෝ, හූනෝ, සුරකුමරියො, සුර කුමරුන්, තරු ආදී ළමා ලෝකයට සමීප බොහෝ දේ කවියා මෙම පැදි පෙළට දායක කරගෙන තිබේ. ඒ සැමෙකක්ම දරුවාට දැඩි සෙනෙහසකින් තම තමන්ට හැකි පමණ උපකාරී වන අයුරු පෙන්වා දෙයි. 

කාව්‍ය භාෂාව  පිළිබඳ සැළකිලිමත් වීමේ දී අපට පැහැදිලි වන කරුණක් නම් හෙළහවුලේ කවීන් ඇ කාරය භාවිතය මෙහි දැකගත හැකිවීමයි. හෙළ හවුල කවියා අපේ මධ්‍යකාලීන භාෂාව පරිහරණය කරයි. විශේෂයෙන් ක්‍රියා පද වලට අගට ඇ කාරය යොදා ගැනීම කැපී පෙනේ. කුමාරතුංගයන් මේ පැදි පෙළට එබඳු යෙදුම් රැසක් යොදාගෙන ඇත. 
වැළැඳ ගනී, නැවැත, සැතැපෙති, සෙලැවෙන, වැලැපේ, කැර, විදැ ආදී යෙදුම් නිදසුන්ය. 
ඒ වගේම මේ පැදි පෙළ තුළින් දරුවන්ගේ ලෝකේ ඉතා සුන්දර බව, ඔවුන්ට පරිසරය පවා ආදරය කරන බවත්, දරුවන්ගේ හෙට දවස වැඩිහිටියන් විසින් තවත් සුරක්ෂිත කළ යුතු බවත් කුමාරතුංගයන් මෙම පැදි පෙළ තුළින් පෙන්වා දෙයි.

කුමාරතුංග මුනිදාසයන් ස්වභාවයෙන්ම සරල කුඩා කවි ළමුන් වෙනුවෙන් රචනා කිරීමට දැඩි රුචියක් දැක්වූ කවියකි. මල් කතා, හාවාගේ වග වැනි කවි පන්ති වලින් ඒ බව වටහා ගත හැකිය. කවියාට ළමා ලෝකය විනිවිද දැකීමටත් ළමා මනස හඳුනා ගැනීමටත් ඇත්තේ නිසඟ හැකියාවකි. එනිසාම එම ළමා නිර්මාණ වඩාත් සාර්ථක වී තිබේ. මෙම පැදි පෙළ තුළ ද එකී ලක්ෂණ සියල්ලෙන් ම පරිපූර්ණ ය.









Thursday, 1 June 2023

සමනලයා - ආනන්ද රාජකරුණා

සමනලයා




නුබ තල ළහිරු බබලයි උණුසුම්ය පවත්
බිඟුකැල උරයි වන මල් රොන් රසය නවත්
එහි ලොල නොවී පියඹා ආ ගමන මෙවන්
 සමොනොළ මිතුර නුඹටයි මගෙ ආයුබෝවන්

දඹ රන් සුණෙන්  හෙබි සිරියල් තලාවක 
සුබ සිරි හඳුන්වා සුපුරුදු වෙලාවක
සිඹ සිඹ කුඩා ගස් වන වන මල් බලා නෙක
නුඹ ආ ගමන සී පද ගායනාවෙක

ගන නිල් තණග පිනි ටික ටික මැකෙද්දී 
සුවිසල් අරුණු දද පෙරඹර දිලෙද්දී 
රොනවුල් සුළං රැළි දකුණෙන් වැදෙද්දී
සිරියල් බිමෙක විද නුඹ  හිරු නැගෙද්දී

හේන්වල මුවන් වට පිට බලද්දී 
රාං කුරුල්ලන් තුති ගී කියද්දී 
පාන්දර හීන් හිරිකඩ වැටෙද්දී
නේන්, හඳුනන්නට බැහැ මල් පිපෙද්දී 

තම තුනු කැලුම් සිලිලෙන් නැහැවෙවී වරෙන්
මල් වාරමක ගතියෙන් නැළවෙවී වරෙන් 
කවුරුත් නුඹට ආදරයයි එදැන වරෙන් 
සමනොල පුස්පරාග‍ය මා ළඟට වරෙන්

ආනන්ද රාජකරුණා
 (ළදරු කවි මී- IV)

"හොඳ කවියක ධ්වනිතාර්ථ සහෘදයෙකුට වුව සැණෙකින් වින්දනය කළ නොහැකිය. එහි අරුත නම් කවියක් රස විඳින්නට කාලයක් අවැසි බව ය. ඒ කාලය හොඳ නිරවුල් මනසක් ඇති අවස්ථාවක සතුටින් කැපකිරීම කාලයක් නම් අගනේ ය."
                                ආනන්ද මූර්ති

කොළඹ යුගයේ පළමු පරම්පරාව නියෝජනය කරන කවියකු වන ආනන්ද රාජකරුණා  විශිෂ්ට කවියෙකි. කොළඹ යුගයේ බිහි වුණු ළමා කවිය පිළිබඳ විමසන විට මහින්ද හිමියන්  සහ ආනන්ද රාජකරුණා යන කවීන් නිතැතින්ම සිහියට නැගේ.  එදා මතු නොව, සියවසක් ගත වී අද ද, රෝස මලේ නටුවෙ කටූ, රන් පිඟාන ලෙස වටකුරු, දිලිහි දිලිහි ආකාසේ  ආදී පද්‍ය පන්ති රාජකරුණා කවියා ගේ ජනප්‍රිය පද්‍ය පන්ති කිහිපයකි. පුරාතන හා නූතන කාව්‍ය සම්ප්‍රදායන් එක්කල පුරුකක් වශයෙන් රාජකරුණා කිවිඳු හඳුන්වනු ලැබේ. කවියකු වශයෙන් මහා කවීශ්වර, ඒ. ආර්. මහදම්පේ කිවි, මහදම්පේ  රාජකරුණා යන ආරූඪ නම් ද භාවිත කළ හෙතෙම ජීවිතය අවසාන භාගයේ ආනන්ද ධම්ම නමින් පැවිදිව සිටියේය.
සමනලයා පැදිපෙළ ද ආනන්ද රාජකරුණාගේ එබඳු ම  ජනප්‍රිය තලයේ පැදිපෙළකි. සම්භාව්‍ය කවියේ ළමා කවි හමු නොවූ අතර කොළඹ යුගයේ මුල් පරපුරේ කවීන් ළමා කවි ජනප්‍රිය කර ඇත. ළමා කවිය වැඩිහිටි කවියට වඩා හාත්පසින්ම වෙනස් එකකි. කාව්‍ය තේමාව, භාෂාව මෙන්ම කාව්‍ය අරමුණු  අතින්ද ළමා කවිය වෙනස් මඟක් ගනී. එය    අවබෝධ කරගත් රාජකරුණා කවියා විසින් ළමා මනසට ඉතා සමීප වන සමනලයා තේමා කොටගෙන පැදි පෙළ නිර්මාණය කොට ළමා ලෝකයේ ළෙන්ගතු මිතුරෙකු ලෙස සලකන සමනලයගෙ සුන්දරත්වය වර්ණනා කිරීම  තේමා කරගනිමින් ළමා මනසට  ප්‍රිය උපදවන ලෙසින් සමනලයා පිළිබඳ කවියාගේ සිතුවිලි සමුදාය මුදාහැර ඇත. සමුද්‍රඝෝෂ විරිත යොදාගනිමින් ඉතාමත් සරල ආකාරයෙනුත් සංශිප්ත ආකාරයෙනුත් තම සංකල්පනය පාඨකයා හමුවේ තබා තිබේ. කුඩා ළමුන් සමනලයා කෙරේ දක්වන මිතුරු දම ඔපවත් වන අයුරින් කුඩා ළමයෙකු සමනළයකු හා කතාබස් කරන විලාසෙන් සංවාදාත්මකව පැදි පෙළ විකාශනය කොට ඇත. එය තවත් සාර්ථක වී තිබෙන්නේ පැදිපෙළ තුළ කවියා සැඟවී කුඩා ළමයෙකු ලෙසින් ළමා මානසික සිතුවිලි මුදාහැර තිබීමයි. ඒ නිසාම පද්‍ය පන්තියට වාර්තාමය ස්වරූපයක්  ආවේශ නොවේ.  

නුබ තල ළහිරු බබලයි  උණුසුම්ය පවන්
බිඟු කැල උරයි වන මල් රොන් රසය නවන්
එහි ලොල නොවී පියඹා ආ ගමන මෙවන්
සමනොල මිතුර නුබටයි මගෙ ආයුබෝවන්

කුඩා දරුවා උදෑසනින්ම දකින සමනලයාව ආයුබෝවන් කියා පිළිගනී. එය පද්‍ය පන්තිය සජීවී බවට හේතු වී තිබේ. පියඹා තමා වෙත එළඹෙන සමනලයා  ආයුබෝවන් කියා පිළිගැනීම ළමයා තුළ පවතින සමීප බව කියාපාන්නකි. ළමයාට සමනලයා ආමන්ත්‍රණය කිරීමට විකල්ප ආමන්ත්‍රණයක් නොමැත සමනල මිතුර යැයි පවසන්නේ ඒ නිසාය.  සමනල මිතුර යැයි පැවසීමෙන් ළමයා සමනලයාට ඇති මිත්‍රත්වය පිළිබඳ සිහිපත් කරවයි. සමනලයා පියඹා ඉන්නෙද ඉතාමත් ලස්සන උදෑසනකයි. ඒ නිසා එම උදෑසන වර්ණනා කිරීමට ද කවියා අමතක නොකරයි. 

මල් කියන්නේ කාට කාට
ළමයින්ටයි පාට පාට  

මෙවැනි පැදිපෙලවල් තුළින්ද ළමයා යනු කිසිදු නරක සිතුවිල්ලක් නොමැති  හරිම අහිංසක  හයක් හතරක් නොතේරෙන අවංක චරිත බව පෙන්වා දෙයි. රාජකරුණා කවියා විසින් ද මෙම සමනලයා පැදිපෙල උපයෝගී කරගෙන ළමයා පිළිබඳ එම කරුණු සනාථ කරයි. 
ළමයා තුළ සමනලයා කෙරෙහි වැඩි ප්‍රසාදයක් පවතී. ඒ බිගුකැල වන මල් රොන් රසය නැවීගෙන උරමින් සිටියත් සමනලයා ළමයා සොයාගෙන පැමිණි ස්වභාවයක් අඟවයි. මී මැස්සන් මෙන් වන මල් වල ගැලී නොසිට පියඹා ඒම නිසා ළමයා සමනලයාට සිය ස්තුතිය පුද කරන්නාක් මෙනි. කවියා ළමයා හා සමනලයා අතර ඇති සම්බන්ධය පාඨකයා වෙතට රැගෙන ආ විලාසය ඉතා මිහිරිය.  පාඨකයා තුළ චිත්‍ර මවමින් උදයක අසිරිය වර්ණනා කිරීමට කවියා සමත්ව ඇත. 

ගන නිල් තණග පිනි ටික ටික මැකෙද්දී
 සුවිසල් අරුණු දද  පෙරඹර දිලෙද්දී
 රොනවුල් සුළං රැළි දකුණෙන් වැදෙද්දී
 සිරියල් බිමෙක විද නුබ හිරු නැගෙද්දී

 මෙහිදී පිනි ටික ටික යන යෙදුම පද්‍ය පන්තියට ප්‍රබල ආලෝකයක් ගෙන දෙයි. සුවිසල් අරුණ දද යන රූපකය මඟින් ද ප්‍රබල ධ්වනිතාර්ථ මවයි. නැගෙනහිර දිශාවෙන් හිරු රැස් විහිදීම කවියා තම සංකල්පයට නගා ගන්නේ ඒ හිරු රැස් නැමැති ධජය බවට පත්කර ගනිමිනි. කවියා තම පැදි පෙළ තුළින් සංකල්ප රූප මවමින් පාඨකයාගේ සිතෙහි චිත්‍රයක් මැවීමට සමත් වී ඇත.

කුඩා ළමයින් සෑමවිටම පරිසරය තමාගේ මිතුරකු බවට පත්කරගෙන ඇත. ඒ නිසා මෙය    දන්නා කවියා ළමයාට හුරුපුරුදු අවස්ථාවන් කවිය තුළට එක්කොට ඇත.  

හේන් වල මුවන් වටපිට බලද්දී
  රාං කුරුල්ලන් තුති ගී කියද්දී
 පාන්දර හීන් හිරිකඩ වැටෙද්දී
 නේන් හඳුනන්ට බැහැ මල් පිපෙද්දී

සමනලයා  උදෑසන පියඹා එන විට විවිධ දේ නෙත ගැටෙයි. හිමිදිරි උදේ පැමිණෙන විට හේන් වල සිට වටපිට බලමින් සිටිති. එසේම විවිධාකාර කුරුලු වර්ගයා උදෑසන සින්දු කියමින් කෙළිදෙලෙන් සිටිති. එසේම පාන්දර යාමයේ හීනි පිනි පොදක් වැටෙමින් තිබේ. කුඩා ළමයාට මේ උදෑසන අසිරිය ලබා දෙන්නේ  උදෑසන සමනලයා පියාඹා එන විට සමනලයා දකින සිදුවීම් ලෙසයි. මෙමඟින් රාජකරුණා කවියා කොතරම් නිර්මාණශීලී කවියකු ද යන්න අවබෝධ කරගත හැක.ආනන්ද රාජකරුණා කවියා සෑම පැදි පෙළක්ම දක්වා ඇත්තේ චිත්‍ර රූප මැවෙන ආකාරයටයි. එය පැදිපෙල රසවින්දනයට ඉවහල් වේ. 
ළමා කවිය සරල විය යුතුය. ළමයා අසන දකින වටපිටාව නිරූපණය විය යුතුය.  ළමයාට වියත් වහර නොවැටහේ. ඒ නිසා ළමා කවියක අන්තර්ගතය විය යුත්තේ ළමා ලෝකයට සමීප වස්තූන්ය. සමනලයා ඒ අතර එක් වස්තුවකි. සමනලයා පිළිබඳව ලියැවුණු මේ ළමා පැදි පෙළට වඩාත් උචිත විලාසය වන්නේ කටවහර ය. එය ළමයාට සරලව වටහා ගත හැකිය. විශේෂයෙන් වරෙන් යන භාවිතය ළමයා  හා සමනලයා අතර සම්බන්ධය වඩාත් සමීප කර තිබේ. ළමයා සමනලයාට ඇති ලෙන්ගතුකම වරෙන් යන්නෙන් ධ්වනිත කෙරේ. ළමයා සමනලයාට පවසා ඇත්තේ තමාගේ ශරීර කාන්තිය නැමැති වතුරෙන් නැහැවෙවී වරෙන්. එසේම ඔංචිලි වාරමක් මෙන් නැළවෙමින් වරෙන්. සැවොම ඔබට ආදරේ බව වටහාගෙන වරෙන් යනුවෙනි. මේ අනුව වරෙන් යන භාවිතය සමනලයාට ඇමතීමට යොදා ගැනීම කටවහර භාවිතයට හොඳ නිදසුනක් වන්නා සේම සරල බවට ද හොඳ නිදසුනකි.

තම තුනු කැලුම් සිලිලෙන් නැහැවෙවී වරෙන්
මල් වාරමක  ගතියෙන් නැළවෙවී වරෙන් 
කවුරුත් නුඹට ආදරයයි, එදැන වරෙන්
සමනල පුස්පරාගය මා ළඟට වරෙන් 

රාජකරුණා කවියා මෙම පැදි පෙළ සඳහා යොදාගෙන තිබෙන ප්‍රබල කාව්‍යාලංකාරයක් ලෙස ධ්වනිතාර්ථය හැඳින්විය හැක. ධ්වනිතාර්ථවල ස්වභාවය සෘජුවම නොපවසා පාඨකයාට යමක් සිතා ගැනීමට ඉඩ හැර තිබීමයි. හේන්වල මුවන් වටපිට බලන්නේ ඔවුන් තුළ ස්වභාවයෙන්ම හටගෙන ඇති තැතිගැන්ම නිසයි. වටපිට බලද්දී යන්නේ මුවන් තුල වූ බිය ධ්වනිත  වේ. රාං කුරුල්ලන් තුති ගී ගයද්දී යන්නේ සුන්දර උදෑසනක බව ය. පරිසරය කලබලකාරී නොවන නිවී සැනසුන ස්වභාවය ධ්වනිත කරයි. පානදරට හීන් හිරිකඩ වැටීමද උදේ අසිරිය ධ්වනිත  කරයි. නේන් හඳුනන්නට බැහැ මල් පිපෙද්දී යන්න ධ්වනිත  කෙරෙන්නේ සමනලයා මලක් මෙන් ශෝභාමත් බවයි. ඔහුගේ මේ අලංකාරය මලක් හා සමාන හෝ මලටත් වඩා අලංකාර බව නොපවසා ධ්වනිතාර්ථයක් ලෙස මල් පිපෙන වෙලාවට නොපැමිණෙන ලෙස දැන් වීමෙනි.

කවියා තම භාෂාව පරිහරණය කරද්දී ඉතාමත් සියුම් උපායන් යොදා ගෙන ඇති විලාසයක් දැකගත හැකිය. පැදි පෙළට අලංකාරයක් ගෙන දීමට ඒ භාෂා විලාසය හේතු වී ඇත. තැන තැන පැදි පෙළට උචිත වන ආකාරය රූපක කිහිපයක් යොදාගෙන තිබේ. එම රූප නිසා අර්ථය වඩාත් තීව්‍ර වේ. අරුණු දද, සමනොල පුෂ්පරාගය වැනි රූපකයන් නිදසුන් කොට දැක්විය හැකිය. ඊට අමතරව අසම්භාව්‍ය ක්‍රියා යොදා ගනිමින් අර්ථ රසයත් ශබ්ද රසයක් යන දෙකම ලබා දීමට කවියා සමත්ව ඇත. නැගෙද්දී, දිලෙද්දී, වැදෙද්දී, නැගෙද්දී, බලද්දී, කියද්දී, වැටෙද්දී, වෙද්දී නිදසුන්ය. නුබ තල, බිගු කැල, එහි ලොල, සමනල වැනි භාවිතයන් නිසා අනුප්‍රාසයන් මැවේ. එය සමනලයාගෙ ගමන්තාලය තරම් සුන්දරය. අර්ථ රසය තීව්‍ර කිරීමට කවියා යොදාගෙන ඇති තවත් උපායක් නම් ඇතැම් වචන උචිතම අවස්ථාවල උචිතම තැන් වලට යොදා තිබීමයි. ඊට නිදසුන් ලෙස පහත යෙදුම් දැක්විය හැකිය. සිඹ සිඹ, ටික ටික, වට පිට ආදී පදය.

මෙම පැදි පෙළ තුළින් ළමයාට ජීවිතාදර්ශ ද ලබා දී ඇත. ඒ අනුව ළමයා පරිසරයට ආදරය කරන පුද්ගලයෙක් බවට පත් කළ යුතු බව රාජකරුණා කවියා විසින් මෙම පැදි පෙළ තුළින් දක්වා ඇත. එසේම ළමුන් තුළ අවිහිංසක බව සතුන්ට ආදරය කළ යුතු බව ඔවුන්ගේ සුන්දරත්වය විඳිය හැකි බව ආදිය මෙහි උපදේශයන් ලෙස ළමයාට ලබා දෙයි. 
ඒ අනුව සමස්තයක් ලෙස රාජකරුණා කවියා විසින් ළමා කවියෙකු ලෙස ළමයාව හොඳින් තේරුම්ගත් පුද්ගලයකු බව මෙවැනි නිර්මාණාත්මක කවි නිර්මාණයන් තුළින් අවබෝධ කරගත හැක. ඒ නිසාම ළමාරස වින්දනයට පමණක් නොව මුළු මහත් සියලු දෙනාටම එම නිර්මාණයන් එකසේ රස විඳිය හැක. ළමා නිර්මාණයක් ලෙස ළමා පරපුරට අපූරු පණිවිඩ ද ලබාදෙන මෙම පැදි පෙළ තුළින් අර්ථ රසය සහ කාව්‍ය රසය අනූන පැදි පෙළක් ලෙස අගය කළ හැකිය.