Friday, 30 June 2023

නැළැවිල්ල - කුමාරතුංග මුනිදාස

 නැළැවිල්ල



"කවිය අන් සෑම සාහිත්‍යමය නිර්මාණයක් ලෙස ම සමාජයීය කෘතියක් විය යුතුය. තමාගේ විනෝදය සහ ප්‍රයෝජනය උදෙසා කවියා කවි නොලියයි. කවියාගේ පරමාර්ථය තමාගේ විනෝදය සහ තමා ලබන ප්‍රයෝජනය ද සමාජයේ අනික් අයට ද බෙදා දීමයි. එසේ නම් කවියා පොදු ජනයාගෙන් ඈත් නොවී ඔවුන්ගේ සිතුම් පැතුම් ආරක්ෂා කරමින් මහජනයාගේ බසින්ම කවි ලිවිය යුතුය." 

                                                                                                    -මීමන ප්‍රේමතිලක-

 

  කොළඹ යුගයේ හෙළ හවුල කවි පරපුර නියෝජනය කරන හෙළ හවුල කවි සම්ප්‍රදායේ නිර්මාතෘවරයා වන කුමාරතුංග මුනිදාසයන් රුහුණේ පතළ වෙදදුරාණ කෙනෙකුන් වූ දොන් අබියෙස් කුමාරතුංගයන්ට දාව පලවින්නගේ දෝනා ගිමාරා මුතුකුමාරණ මාතාවගේ කුසින් 1887 ජූලි 25දා දික්වැල්ලේ ඉදිගස්ආරයේදී මුනිදාස කුමාරතුංග උපත ලැබූහ. කුමාරතුංගයන් කාව්‍ය කෘති වශයෙන් පියසමර, කුමර ගී කාව්‍ය කෘති පළකළ අතර  වර්තමාන සිංහල කවි මග සඳහා වඩාත්ම බලපෑ කවියා කුමාරතුංගයන් බව විචාරක මතයයි.

නැළැවිල්ල

තොටිල්ල සැම සුවපිරී

 පැද්දෙයි තාලෙට සරී 

 අසමින් ගී සුමිහිරී

 නිදන්න පුත රන් කිරී


දොයි දොයි දොයි

 බයි බයි බයි

 නිදි මව එයි 

වැළඳ ගනියි 


උණු වැඩි ය යි හිරුගේ රැස්

තෙමා නැවත ගෙනෙන ලෙස්

 ගියේ ය වැද මුහුදු කුස්

 පෙනේ ද ආදර වෙසෙස්


සිහිල් වෙති යි සඳ ඉතා 

සාවා එහි පැන-ගතා

රැසින් අඩක් නො නවතා

සිටීද ඒ හොඳ සතා


සුරතල් දරු බිය වෙතී

 කුරුලු පැටවු නො හඩතී

 නැළවිල්ලෙන් කම් නැතී

 කිරිල්ලෝ ද සැතපෙතී


වසු පැටියෝ ගෙල පසා

 මිණි වැල් සෙලැවෙන නිසා

 රිසි ලෙස ඇඟ නො ම කසා

 හිඳිති තණට ඇස වසා


හූනෝ එළියට අවුත්

මැස්සන් පස්සෙන් ගතොත්

නගති යි උන් හඬ මහත්

කටම කටෙහි ලා- ගනිත්

කුමාරතුංග මුනිදාස - කුමර ගී - 1926

ඉහත නැළැවිල්ල පැදි පෙළෙහි තේමාව වන්නේ බිලිඳු වියේ පසුවන දරුවකු නැලවීමයි. බිළිඳකු යනු හයක් හතරක් නොදන්නා පොඩි තිගැස්මකට පවා බිය වන තම මව එකම සමීපතයා ලෙස සිතන ඉතා සියුමැලි  සෙනෙහස ආදරය අපේක්ෂා කරන්නෙකු ය.  නින්ද ඔවුන්ට අත්‍යවශ්‍යම සාධකයක් වේ. ඒ සඳහා තොටිල්ල ඔවුන්ට සුව යහනකි. තොටිල්ලේ නිදාගෙන ඒ තොටිල්ල පැද්දෙන විට තමන්ට දැනෙන සුවය වෙන නැති තරම්ය. මේ තොටිල්ලත් එක්කම  මවගේ මුවින් ගැයෙන නැළැවිලි ගී ද බද්ධවෙමින් බිලිදාට සුවපහසු නින්දක් ගෙන දෙයි. මේ ආකාරයට බිලින්දා තොටිල්ල තුල නිදා ගන්නා ආකාරය හරි අපූරුවට කුමාරතුංගයන් වසන්ත විරිත යොදා ගනිමින් අපි සියලු දෙනා විඳි අත්දැකීම කවියට නගා ඇත. 

තොටිල්ලෙ සැම සුව පිරී

 පැද්දෙයි තාලෙට සරී

 අසමින් ගී සුමිහිරී

 නිදන්න පුත රන් කිරී

    අතීත සිංහල ජනකවියා නැළවිලි ගී සම්පාදනයේ දී කළ ව්‍යවහාර අනුව යමින් දොයි දොයි බයි බයි ආදී වශයෙන් දරුවන් නළවයි. මේ සරල යෙදුම් තුලින් මවක් ඉතා සෙනෙහෙබර ව දරුවා තුරුල්ලට ගෙන නලවන අයුරු මැවී පෙනේ. මේ යෙදුම් තුළින් මවගේ සෙනෙහස ධ්වනිත  කෙරේ. 

දොයි දොයි දොයි

 බයි බයි බයි

 නිදි මව එයි

 වැළැඳ ගනියි

මේ ආකාරයට හෙළ හෙළහවුලේ කවියා ශබ්ද රසයට වඩා තම නිර්මාණ සඳහා ඇවැසි ඉස්මතු කිරීමට උත්සුක වී ඇත. ඒ නිසාම හෙළ හවුළේ කවියන් වියරණ පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇත මේ පැදි පෙළ ද වියරණ අනුකූලව රචනා කිරීමට කවියා උත්සාහ දරා ඇත. ඒ කාව්‍ය රසයට හානියක් නොවන සේ සිදුකර ඇත. පහත කවිය විමසන විට බහුවචන උක්තයන්ට බහුවචන ආඛ්යාතය යොදා ඇති අයුරු දැකගත හැකි ය. ඉන් අපූර්ව අනුප්‍රාස‍යක්ද උපදින නිසා වියරණය කවියට හානි නොකර නිරුත්සාහකව භාවිත වී ඇති ආකාරයක් දැකගත හැකිය.

සුරතල් දරු බිය වෙතී
කුරුලු පැටවු නො හඩතී
නැළවිල්ලෙන් කම් නැතී
කිරිල්ලෝ ද සැතපෙතී

එසේම කවියා වාග් චිත්‍ර මැවීම අතින්ද  රස උද්දීපනයට උත්සාහ දරා ඇත. කවියක අර්ථ රසය මෙන්ම ශබ්ද රසය වාග් චිත්‍ර හා බැඳී ඇත. වාග් ච්ත්‍රය පාඨක අද්දැකීම් පුනරාවලෝකනය කරයි. එනිසාම කවියාගේ අත්දැකීම පාඨක අත්දැකීමක් බවට  පත්වේ. එබඳු අවස්ථා රැසක් මෙහි අන්තර්ගතය.

වසු පැටියෝ ගෙල පසා
 මිණිවැල් සෙලැවෙන නිසා
 රිසි ලෙස ඇඟ නොම කසා
 හිඳිති තණට ඇස වසා

    වසු පැටවුන් තණ බිස්ස මතට හිස නවා සිටින ආකාරය කවියාගේ අත්දැකීම් මගින් පැදි පෙළට එක් කොට ඇත. වසු පැටවුන්ගේ ගෙලෙහි මිණි වැල් බැඳ ඇත. එය ගැමි පරිසරවල සුලබ දෙයකි. වසු පැටවා සුරතල් ය. එනිසා ඔහුට ඇති ලැදියාව කියා පෑමට ගෙජ්ජි වැල් ගෙලෙහි බදී. කුඩා බිලිඳා  නිදි සුව විඳින බව දන්නා වසු පැටවුන් තණපත් නොකා සිටී. තණපත් කනවිට ගෙල පහත්  වනු ඇති යන බිය පැටවුන් තුළ වෙයි. පැටවාට ඇඟ කසා ගැනීමට අවැසි වුවහොත් එසේ නොකරයි. මෙය චිත්‍රයක් ලෙස පාඨක සිතෙහි සුපැහැදිලි ලෙස ඇදෙයි.
 
  කුරුලු පැටවු, වසු පැටියෝ, හූනෝ, සුරකුමරියො, සුර කුමරුන්, තරු ආදී ළමා ලෝකයට සමීප බොහෝ දේ කවියා මෙම පැදි පෙළට දායක කරගෙන තිබේ. ඒ සැමෙකක්ම දරුවාට දැඩි සෙනෙහසකින් තම තමන්ට හැකි පමණ උපකාරී වන අයුරු පෙන්වා දෙයි. 

කාව්‍ය භාෂාව  පිළිබඳ සැළකිලිමත් වීමේ දී අපට පැහැදිලි වන කරුණක් නම් හෙළහවුලේ කවීන් ඇ කාරය භාවිතය මෙහි දැකගත හැකිවීමයි. හෙළ හවුල කවියා අපේ මධ්‍යකාලීන භාෂාව පරිහරණය කරයි. විශේෂයෙන් ක්‍රියා පද වලට අගට ඇ කාරය යොදා ගැනීම කැපී පෙනේ. කුමාරතුංගයන් මේ පැදි පෙළට එබඳු යෙදුම් රැසක් යොදාගෙන ඇත. 
වැළැඳ ගනී, නැවැත, සැතැපෙති, සෙලැවෙන, වැලැපේ, කැර, විදැ ආදී යෙදුම් නිදසුන්ය. 
ඒ වගේම මේ පැදි පෙළ තුළින් දරුවන්ගේ ලෝකේ ඉතා සුන්දර බව, ඔවුන්ට පරිසරය පවා ආදරය කරන බවත්, දරුවන්ගේ හෙට දවස වැඩිහිටියන් විසින් තවත් සුරක්ෂිත කළ යුතු බවත් කුමාරතුංගයන් මෙම පැදි පෙළ තුළින් පෙන්වා දෙයි.

කුමාරතුංග මුනිදාසයන් ස්වභාවයෙන්ම සරල කුඩා කවි ළමුන් වෙනුවෙන් රචනා කිරීමට දැඩි රුචියක් දැක්වූ කවියකි. මල් කතා, හාවාගේ වග වැනි කවි පන්ති වලින් ඒ බව වටහා ගත හැකිය. කවියාට ළමා ලෝකය විනිවිද දැකීමටත් ළමා මනස හඳුනා ගැනීමටත් ඇත්තේ නිසඟ හැකියාවකි. එනිසාම එම ළමා නිර්මාණ වඩාත් සාර්ථක වී තිබේ. මෙම පැදි පෙළ තුළ ද එකී ලක්ෂණ සියල්ලෙන් ම පරිපූර්ණ ය.









4 comments: