Thursday 13 July 2023

කුකුළු හැවිල්ල - රැපියෙල් තෙන්නකෝන්

කුකුළු හැවිල්ල - රැපියෙල් තෙන්නකෝන්

දුදනො'ද බිඳ 

ලද තෙද කඳ 

කඳ දෙව් රද 

සාමිනේ


මගෙ කුකුළා නැසූ එකා

 දදය ඔබගෙ පාළු යකා

 තව එක බුද දිනක් තකා

 ඉන්නට ඉඩ නොදී මකා


බලා එල්ල 

හෙළුව හෙල්ල 

මුලමැ බෙල්ල 

මරැ තැනේ


කතරගමට රුහුණු රටේ

හිඟා කකා ලබන විටේ

පයින් මැ ගොස් ඇවිද වටේ

පොළොවැ උලා නළල් ඇටේ


දිගට ඇදී 

නැහැ පැහැදී 

මහ හඬ දී 

දෙවියනේ


රනින් කුකුළු රුවක් පුදමි

රිදියෙන් බිජුවටක් පුදමි

රන් දුනු හී දෙකක් පුදමි

රුවට රිදී රුවක් පුදමි

  "රචනාද කාව්‍ය ගණයෙහිලා ගිණිය හැකි මුත් පද්‍ය හෝ පැදි යන පද නම් ගද්‍ය හෝ ගැදි යන පදවලට වඩා ඉඳුරා ප්‍රතිවිරුද්ධ පදයෝ වෙත්. පද්‍යක්නම් ඡන්දසින් බැදිය යුතුමය. විශ්වනාථ නම් වූ සංස්කෘති පඩිවරයා  'ඡන්දො රහිතං ගද්‍යම්-  ඡන්දෝ බද්ද පදං පද්‍යම්' (ඡන්දස් රහිත වූයේ ගද්‍යයි  ඡන්දසින් බැඳුණේ පද්‍යයි) යැයි කීවේ එබැවිනි. මේ ශ්ලෝක පාඨය ට අනුව ඡන්දසින් තොර කාව්‍ය තිබිය නොහැකිය. ඡන්දසින් තොර පද්‍ය තිබිය නොහැකි ය."

                                                -නූතන කාව්‍ය සංහිතා සුනිල් ආරියරත්න-

    රැපියෙල් තෙන්නකෝන් හෙළ හවුල කවිය නියෝජනය කරන කිවිදෙකි. ඔහු සුවිශේෂ වන්නේ සුවිශාල කවි එකතුවකින් යුතු පද්‍ය ග්‍රන්ථ නිර්මාණය කළ නිසාවෙනි. ගාමායණය නමැති කාව්‍ය සංග්‍රහය කවි 5302 කින්  සමන්විතය. එසේම වංශය පද්‍ය 2500 කින් අලංකාර කර තිබේ. හෙළහවුලේ කවි පරපුර පිළිබඳ විමසන විට රැපියෙල් තෙන්නකෝන්  කවියා අමතක කළ නොහැකිය. ඔහුගේ කුකුළු හැවිල්ල පද්‍ය පන්තිය බෙහෙවින් ජනප්‍රිය වූවකි. එහි තේමාව වී ඇත්තේ ශාප කිරීමකි. කුකුළෙකු සොරකම් කිරීමෙන් වේදනාවට පත් අයෙකු කතරගම දෙවියන්ට කණ්ණලව්වක් ඉදිරිපත් කරයි. ඒ තම කුකුළා සොරාගත් පුද්ගලයා මරා දමන ලෙස අයදිමිනි. අතීත ගැමි සමාජයේ කුකුළු සොරකම සුලභ දෙයකි. බොහෝවිට ගැමියාට නීතිය පිහිට පැතීමට වඩා දෙවියන් කෙරෙහි පවතින විශ්වාසය දැඩි ය. එනිසා සොර විනාශ කිරීමෙන් තම පාඩුව අකා මකා ගැනීමට ගැමියා පෙළඹේ. මේ යාදිනිය ඒ සඳහාය. ගැමියා දේව කන්නලව්වෙන් දෙවියන්ට දන්වා සිටින්නේ කතරගම දෙවියන්ගේ කොඩියේ සලකුණ වන්නේ ද කුකුළෙකු නිසා කතරගම දෙවියන් තම කුකුළා සොරාගත් පුද්ගලයාට දඬුවම් කළ යුතු ය යන්නයි. තවත් එක් බුද දිනක් (බදාදා දිනයක්) යාමට මත්තෙන් එම දඬුවම කළ යුතුය යන්නයි. බදාදා දිනයේ දෙවියන් වෙනුවෙන් වෙන්වූ කෙම්මුර දිනයක් නිසා එම දිනය ද සිහිපත් කරමින් තම කන්නලව්ව බාරගෙන එය ඉටු කර දිය යුතු බව ඉල්ලා සිටී. කවියා මේ සඳහා එළිසම සහිත ගී විරිත්ක් යොදා ගනී. ඇතැම් තැනක විරිත වෙනස් කිරීමක් ද දැකිය හැකිය. යාදිනියක විලාසයක් ගෙන ඇත.

මගෙ කුකුළා නැසූ එකා 

දදය ඔබගෙ පාළු යකා

තව එක බුද දිනක් තකා 

ඉන්නට ඉඩ නොදී මකා

ගැමියා තුළ ඇති වෛරය මින් ප්‍රකාශිතය. සොරා ගත්තේ කුකුලෙකු වුවද ගැමියා අයදින්නේ සොරා ගේ ජීවිතය යි. දතට දත නියාය මෙහි දී පාඨකයාට සිහිපත් වේ. නිවැරදිවම එල්ලය බලා බෙල්ල මුලටම එල්ල කළ යුතු බව අවධාරණය කරයි. ඒ සඳහා විරිත වෙනස් කොට අනුප්‍රාසය ට අවස්ථාව ලබා දී ඇති බව පෙනේ.

බලා එල්ල

හෙළුව හෙල්ල

මුලැ මැ බෙල්ල 

මැරු තැනේ


ගැමි විශ්වාසය අනුව කතරගම දෙවියන් දුර්ජනයන්ගේ ඔදතෙද සිද දමන්නේය. එතරම්ම තේජසකින් යුතු බව ගැමියන්ගේ විශ්වාසයයි. දෙවියෝ වනාහි දුප්පතුන්ට සෙත සාදන්නෝ වෙති. මේ අන්ධ විශ්වාසය තුළ ගැලී සිටින ගැමියාගේ ගැලවුම්කරුවා කතරගම දෙවියන්ය. කවියා තුළ පවතින ජීවිතාවබෝධය කොතරම්ද යන්න මෙම පද්‍ය පන්තියෙන් තහවුරු වේ. අතීත ගැමි පරිසරයේ ප්‍රබලව පිළිබිඹු කර ඇති අවස්ථා බහුලය. 


දු දනොද බිඳ 

ලද තෙද කඳ

කඳ දෙව් රද

 සාමිනේ


රැපියෙල් තෙන්නකෝන් කවියා මේ පැදි පෙළ රචනා කරන්නේ අනුප්‍රාසය ජනනය වන අයුරිනි. දේව කන්නලව්වකට උචිත විලාසයකින් එය ඉදිරිපත් කර ඇත. පැදි පෙළ ගායනා කරන විට මෙකී අනුප්‍රාස නිසාම ආවේශ වුණු ගැමි ගැහැනියකගේ ස්වභාවය පාඨක මනසේ මැවෙයි. හෙළ හවුල කවීන් ශබ්ද රසයට මුල් අවධානයක් යොමු නොකළ ද මෙහි අපට දැකගත හැක්කේ අනුප්‍රාස ඉස්මතු කරන බවකි. ඊට හේතුව දෙවියන් හා බැඳුණු යාතුකර්ම විලාසයක් ඊට ආවේශ කළ යුතු වූ නිසා ශබ්ද රසයට මුල් තැනක් දුන් සේයකි. දේව කන්නලව්වක භාවිතා කරන බෙරහඬ පාඨකයාට ඇසෙන තරමටම අනුප්‍රාසය ප්‍රබලය.


බලා එල්ල

හෙළුව හෙල්ල

මුල්මැ බෙල්ල

මැරැතැනේ


මීට වස් කවි ආර යොදාගෙන ඇත්තේ දෙවියන් ඉදිරියේ කරන මේ ආයාචනය සොරා මරා දැමීම වන නිසාය. ආවේගශීලී ස්වභාවයක් එහි නිරූපිතය. වස් කවි ආරත් අනුප්‍රාසයත් එක් තැන් වූ කල්හි ආවේගශීලී බස් වහරක් සකස් වී ඇත. තම කන්නලව්ව ඉටු කළහොත් බාරය ඔප්පු කරන ආකාරය ද කථකයා පහදා දී ඇත. කතරගම දෙවියන් වෙනුවෙන් සිදු කරන භාරය ඉතා දුෂ්කර ලෙසින් ඔප්පු කළ යුතු ඒවා ය. ඒවායේ සිරුර කොකුවලින් එල්ලාගෙන කටු උල් ආදිය සිරුරේ රඳවාගෙන ගිනි පාගමින් ඉතා දුෂ්කර ලෙස භාර ඔප්පු කරනු දැකිය හැකිය. මේ ගැමියා ද බොහෝ පීඩා විඳිමින් භාරය ඔප්පු කරන බවට පොරොන්දු වෙයි. එය හිඟා කමින් ගොස් සිදුකරන්නකි. කතරගම ට පයින් මැ ගොස් දේවාල භූමියේ නලල් ඇටය උලමින් තම භාරය සිදුකරන බවට දෙවියන් ඉදිරියේ පොරොන්දු වෙයි. එය ඉතාමත්ම දුෂ්කර කාරියකි. එසේ වුවත් තමාට කළ හානියට පලිගැනීමේ චේතනාව ප්‍රබලය. එනිසාම මේ දේව කන්නලව්ව වෛරයෙන් පිරි එකක් වී තිබේ. ඊට වඩාත් උචිත ආකෘතිය ලෙස කවියා වස් කවි ආකෘතිය යොදා ගෙන ඇත. ඒ ප්‍රස්තුතයට ගැළපෙන්නක් ලෙස නම් කළ හැකිය.


කතරගමට රුහුණු රටේ 

හිඟා කකා ලබන විටේ 

පයින් මැ ගොස් ඇවිදැ වටේ 

පොළොවැ උලා නළල් ඇටේ

හෙළ හවුල කවීන් භාෂාව භාවිතයේ දී වඩාත් සැලකිලිමත් වන බව අපි දනිමු. ඔවුහු කිසිදු විටෙක සම්මත වියරණ නොබිද්දෝ ය. කවියා මෙහිදී ද එම සම්මතය ආරක්ෂා කර ගත්තේ ය. වියරණානුකූලවම පැදි පෙළ රචනා කර තිබේ. මම යන උකතයට ගැලපෙන ලෙස පුදමි යන ආඛ්‍යාත යොදාගෙන නිරායාසයෙන් පැදි පෙළ රචනා කොට ඇත. එය රස හානියට හේතු වූ බවක් නොපෙනේ. මම යන්න අධ්‍යාහාරයෙන් සලකා ගත යුතු වූ නමුත් කවියාගේ අරමුණ පාඨකයාට වටහාගත හැකි ය. එහිලා සිහිපත් කළ යුතු තවත් දෙයක් නම් අහිමි වූයේ කුකුලෙකු වුවත් ඒ නිසා සිදු කරගන්නා පාඩුව සුළුපටු නොවන බවයි. රනින් කුකුළු රුවක්, රිදියෙන් බිත්තරයක්, රනින් දුන්නක්, ඊතලයක් ආදී වශයෙන් විශාල පාඩුවක් විද ගැනීමට සිදුවෙයි. එය නිසි ව්‍යරණයෙන් පවසා ඇති ආකාරය අගය කළ යුතුය.


රනින් කුකුළු රුවක් පුදමි 

රිදියෙන් බිජුවටක් පුදමි  

රන් දුනු හී දෙකක් පුදමි 

රුවට රිදී රුවක් පුදමි